Sunday, August 5, 2012

සිනෙ රූ: ගේෂාවක්ගේ මතක පොත..Memoirs of a Geisha


මගේ ලෝකය අසම්මතයි. දුර්වලයි. එහි පැවැත්ම රඳා පවතින්නේ එහි ඇති අභිරහස් බව නිසා. මගේ ඉපදුනේ ගේෂාවක වීමට නොවුන මුත් ජීවිතේ එක් තැනකදී  මගේ ඉරණම මාව ගේෂාවක බවට පත් කරනවා. 
මගේ ජීවිතේ අනිත් හැමදේම වගේ මෙයත් තීරණය වූයේ ගසා ගෙන යන රැල්ලෙන්. මගේ අක්කා අරටුවක්  වැනි යැයි මගේ අම්මා නිතරම කියනවා මට ඇසී තිබුනා. සකුරා ගසක් පොළවට සවි වී තියෙන්නාක් මෙන්න ඇය පොළවටම ආදරය කරාවි යැයි ඇය පැහැදිලි කලා මට මතකයි.

අම්මා මාව දුටුවේ දිය දහරක් ලෙස. ගල්පර බාධක හැල හැප්පිලි මැදින් තමන්ගේ පාර සොයාගෙන යන දිය පහරක් ලෙස. බාධයක සිරවූ විට දිය දහර වෙනස් මාවතක් හොයා ගන්නවා. මම ඒ වගේ. 

**********

       ලස්සනට ඉර පායා ඇති දවසක දුඹුරු පාට අවුරුදු නමයක් විතර තරමේ ගෑනු ළමයෙක් දිය පහරක් දිහා බලාන හිටියා. ඉර අව්ව වැටිලා දිලිසෙන දිය පාර දිගටම ගලාගෙන යනවා ඇය බලාන හිටියෙ දියපාර හරහා යන්න හදපු පොඩි ලී පාලම වාරු වෙලා. ගේෂාවකගේ දාසිය වෙලා ගත කරන දවසේ හදිසියේ හම්බවුනු ඉසඹුවක් ඈ, චියෝ චාන් මෙතනට ගෙනැවිත් තිබුනා. කාත් කවුරුත් නැති මේ ජීවිතේ අරුත මොකද්ද කියලා හිතමින් නොනැවතී ගලන දිය පාර දිහා බලන් උන්නු ඇයට නොදැනිම කඳුලක් ඇසින් ගලා හැලුනා.

      පොඩි පාලම උඩින් ඒ දිය පහර හරහා එහා මෙහා ගිය හැමෝම වගේ ඇගේ සිතුවිලි දකින්නට උන්නදු වුනේ නෑ. ඒත්

“දුකින් ඉන්න බැහැයි කියලා හිතෙන තරමටම අද ලස්සන දවසක් නේද?. ඇයි අඬන්නෙ? ඔයා වැටුනද?“ 
කරුණාවන්ත ඇස් දෙකක් එහෙම ඇහුවම චියෝ චාන් ගැස්සිලා බැලුවා. ඒත් ඒ එක්කම ඈ ආපහු බිම බලාගත්තෙ අකැප වස්තුවක් දිහා බැලුවා වගේ.
“ඇයි ඔච්චර ලැජ්ජාවෙන්නේ. බිම බලාගන්න දෙයක් නෑනේ.“ කරුණාවන්ත ඇස් දෙක ආයෙත් කිව්වා.
“අපි හැමෝටම අමාරු කාල තියනවා. අර බලන්න අර කොල පාටට දිලිසෙන කිමෝනාවක් ඇඳන් ඉන්න ලස්සන  නෝනව පේනවා නේද?“ කරුණාවන්ත ඇස් දෙක එයා එක්ක ආව ලස්සන කාන්තාවන් දෙදෙනාගෙන් එක්කෙනෙකුට අත දික්කරලා පෙන්නුවා.
“ඈ කාලයක්  ගේෂාවකගේ දාසියක් විදිහට වැඩ කලා. දවසක් ඈ ඇගේ ලී සපත්තු පෙරළිලා බිම වැටුනා“ කරුණාවන්ත ඇස් දෙක හිනාවෙමින් ආපහු කිව්වා.
“ඔව්. ඇත්ත. මම කාලයක් එහෙම හිටියා. “ කොළ පාට කිමෝනෝව ඇඳගත්ත ලස්සන කාන්තාව කිව්වා.
“බලන්නකෝ ඈ දිහා දැන්. කොච්චර කදිම කාන්තාවක්ද කියලා. ඈ දැන් ගේෂාවක්“ කරුණාවන්ත ඇස් දෙක චියෝ චාන්ගේ ඇස් දෙක බලාන කිව්වා.
“ඔයාගෙ නම මොකද්ද? ඔච්චර බයවෙන්න එපා මා දිහා බලන්න“ කරුණාවන්ත ඇස් දෙක ඇහුවා. අම්මගෙන් පස්සෙ ඇහුන කරුණාවන්තම වචන ඉස්සරහා චියෝ චාන් ගොළුවුනා.
“ඔයා කැමති මිදිරස අයිස්වලටද චෙරි රස අයිස් වලටද? “ කරුණාවන්ත ඇස් දෙක ඇහුවෙ ළඟ හිටිය අයිස් වෙළෙන්දා දිහා බලමින්.
“කන්නද?“ චියෝ ඇහුවෙ සැකයෙන්.
“ඔව් වෙන මොනවටද මම නම් කැමති  මිදි රස අයිස් වලට. එන්න යමු .“
“අපි බලාපොරාත්තුවෙන තරමේ කරුණාවක් අපි හැමෝටම ලැබෙන්නෑ දරුවෝ. මගේ ළමයි හැම ගිම්හාන නිවාඩුවේම මේ අයිස් කන්න බලාන ඉන්නෙ.“ කරුණාවන්ත ඇස්දෙක දිගටෝම කියාගෙන ගියා. ඊට පස්සෙ අයිස් වෙළෙන්දාගෙන් මිදි රස හා චෙරි රස අයිස් පලම් දෙකක් ඉල්ලුවා. රතු පාට චෙරි යුෂෙන් රස ගන්වපු එක අයිස් පලමක් චියෝ චාන්ට දුන් කරුණාවන්ත ඇස් දෙක අනිත් අයිස් පලම කන්න පටන් ගත්තා. 
කරුණාවන්ත ඇස් දෙක කලින් පෙන්නපු කාන්තාවන් දෙදෙනා  ඈත ඉඳන් හිනා වෙවී හිටියා. 
හදිසියේම යමක් මතක් වුනු චියෝ චාන් අයිස් පලමේ රතු පාට තමන්ගේ තොල් දෙකේ තවරගෙන පළමු වතාවට තමන්ගේ සුපුරුදු හඬ අවදි කලා. 
“ම්..දැන් මමත් ගේෂාවක්. බලන්න“
“ඕ...ඔව් ඇත්තටම“ කරුණාවන්ත ඇස්දෙක හයියෙන් හිනා වුනා. 
“ඔච්චර ලස්සන ඇස්දෙකක් ඔයාට කවුද දුන්නෙ“ කරුණාවන්ත ඇස්දෙක ඇහුවෙ චියෝ චාන්ගෙ   හිනාවෙන ඇස් දිහා බලලා.
“මගේ අම්මා තමයි මට ඒවා තෑගි දුන්නෙ.“ චියෝ චාන් කිව්වෙ ඒ වයසෙ ඉන්න හැම දරුවෙකුගෙම තියන දඟකාර හඬින්. චෙරි රස අයිස් පලම් ඇගේ දුක්බර සිතුවිලි ඈතට පා කරවමින් උන්නා.
“ඔයාගෙ අම්මා හරිම හොඳයි වගේ. එහෙම නේද? “
“හරියට ඔයා වගේ“ චියෝ චාන් කිව්වෙ ඒ කරුණාවන්ත ඇස් දෙක දිහා කෙලින් බලලා. 
“මං වෙනුවෙන්  එක සැරයක් හිනාවෙන්න පුළුවන්ද? “ කරුණාවන්ත ඇස් දෙක ඇහුවෙ චියෝ චාන්ගෙ තොල්දෙකින් ගිලිහුනු තිබුන රතුපාට අයිස් පලමේ යුෂ අයින් කරමින්.
චියෝ චාන් තමන්ට පුළුවන් හොඳම හිනා මූණ පැළඳගෙන හිනා වුනා.
“ආන්න මේ ලස්සන හිනාව තමා ඔයාගෙන් මට ලැබෙන තෑග්ග.“
වෙළෙන්දා දුන්න ඉතුරු සල්ලි ටික තමන්ගෙ ලේන්සුවෙන් ඔතලා චියෝ චාන්ගෙ අතට දුන්න කරුණාවන්ත ඇස්දෙක මෙහෙම කිව්වා.
“මීට පස්සෙ කරදර කොච්චර ආවත් ඔයා දුකින් ඉන්න එපා. මේ තෑග්ග හැමදාම මතක තියා ගන්න“

*******
Remember Chiyo, Geisha are not
courtesans, and we're not wives.
We sell our skills, not our bodies.
We create another secret
world, a place only of beauty.
The very word Geisha means
artist, and to be a Geisha …
… is to be judged as
a moving work of art.
Agony and beauty, for
us, live side by side.
Your feet will suffer,
your fingers will bleed.
Even sitting and
sleeping will be painful.
You cannot call yourself a true Geisha until you
can stop a man in his tracks with a single look.
-Mameha
********
කරුණාවන්ත එක වචනයකට කොච්චර දුර යන්න පුළුවන්ද? අවුරුද්දක් දෙකක්, දහයක් නැත්නම් මුළු ජීවිත කාලයම බලාපොරොත්තුවේ සිසිලසින් පුරවන දුරක්...චියෝ චාන් හා කරුණාවන්ත ඇස්දෙක දිහා රිදී තිරයෙන් බලන් සිටි මට සිතුනා.
********

රූගේ පසු සටහන:
ආතර් ගොල්ඩන්ගේ පොතක් ඇසුරින් රොබ් මාෂල් 2005 අධ්‍යක්ෂනය කල "Memoirs of a Geisha" චිත්‍රපටය ඇකඩමි සම්මාන හයකට නිර්දේශ වූ අතර තුනක් දිනාගනු ලැබුවා. ස්ටීවන් ස්පිල්බර්ග් ගේ Amblin Entertainment නිශ්පාදනය කල මෙම චිත්‍රපටිය ජපානයේ හා කැනඩාවේදී රූ ගත කරන ලද්දක්.