Sunday, November 27, 2011

60kmphට වැඩියෙන් හැටට හැටේ...

මීට මාසෙකට විතර කලින් දක්ශිණ අධිවේගී මාර්ගයේ ගාල්ලට යන්න අවස්ථාවක් ලැබුනා.(කාලෙකින් ලැබෙන වෘත්තිය වරප්‍රසාදයක් කියල කිව්වොත් හරි). දැන් ඉතින් අධිවේගී මාර්ගය මහජනතාවට පාවිච්චි කරන්න පුළුවන් නිසා අවට සිරි පෙනෙන මේ පිනතූර ඔයාලටත් බලන්න පුළුවන්.









ප/ලි
*සමහර පින්තූර බොඳවෙලා වගේ පෙනෙන්නේ බසයේ යනවිට ගත් නිසා.
* අන්තිම පින්තූරේ මුහුදු තීරය අධිවේගී මාර්ගයේ ගාල්ල හුවමාරුවේදී දක්නට ලැබෙන මුහුදු තීරයයි.
* රූ කොහොමත් මාර්ග විශේෂඥයෙක් නොවන නිසා අධිවේගී මාර්ගය ගැන කිවහැක්කේ එය ලස්සන පරිසරයක සාදා තිබෙන බව පමණි.

ලංකාවේ පළමු අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සැමට ආරක්ශාකාරී ගමනකට සුභ පැතුම්!


Wednesday, November 23, 2011

පුස් තකා 1: ස්වාමි සහ ලෝක සිතියම

මාතෘකාව දැක්කම මේක අළුත් කථාවක් කියල හිතන්න එපා. පුස්තකා කියල නම දැම්මෙ මම කියවපු පොත් වල තියන ලස්සන දේවල් ගැන සීරීස් එකක් ලියන්න හිතාගෙක ඉන්න නිසා. මොකද මේ කථාවත් මගේ පරණ ඩයරියෙ ලියලා තිබුන එකක්. මේ කථාව මම ලියන්න හිතුවෙ පොත කියවලා මම කියවපු සතුට ඔයාලටත් දෙන්න. ඒත් සම්පූර්ණ පොත මීට වඩා ගොඩක් ලස්සනයි. පුළුවන් නම් අරන් කියවන්න. 

උපුටා ගැනීම : ස්වාමි සහ යහළුවෝ (ආර්.කේ. නාරායනයන් විසින් රචිත ඩබ්ලිවු.ඒ.අබේසිංහයන් විසින් පරිවර්තනය කර සරද ප්‍රකාශකයෝ 1995 මැයි මස ප්‍රකාශ කල පොතේ 8 පරිජ්ජේදය 75 පිටුව)
Courtesy : http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/275069_681058309_1781730_n.jpg

මේසය ළඟ හිඳගත් ස්වාමිනාදන් සිතියම් පොත එළියට ගත්තේය. ඔහු දේශපාලන සිතියම දිගහැරගෙන ඒ දෙසම නෙත් රඳවා ගෙන සිටියේය. ඔහු තුල ගැටළුවක් මතුවිය. මේ වාගේ හොකර වෙච්ච යුරෝපය වැනි රටක මිනිසුන් ජීවත්වන්නේ කෙසේද? සිතියම් සීමා ඉරිවලට මැදිවී ඇති තුඩු වැනි තැන්වල ජීවත් වන මිනිස්සුනගේ හැඩරුව මොන වාගේ වියයුතුද?
තම භූමියේ සමෝච්ච රේඛා වලට හිර වී ජීවත් වන මිනිස්සු හුස්ම ගන්නේ කෙසේද? ඔවුන් බෙල්ල හිරවී මැරෙන්නේ නැද්ද? මේ අතර ඔහු තුල නිතර නිතර නලියන තවත් ජනප්‍රිය ගැටළුවක්ද යළිත් වරක් මතුවිය. සිතියම් අඳින මිනිස්සු රටක හැඩය හෙයා ගන්නේ කෙසේද? යුරෝපය ඔටුවෙකුගේ මොල්ලිය වගේ යැයි සොයාගත්තේ කොහොමද? බාග වෙලාවට ඔවුන් උස කුළුණුවලට නැග බිම බලන විට පෙනුනු ආකාරය සිතියම්වල සටහන් කරගන්නට ඇත. නගර ශාලාව මුදුනට නැගුනොත් තමාට වුනත් සිතියමේ ඇති ආකාරයටම ඉන්දියාව දැක ගන්නට බැරි මන්දැයි ඔහු තුල විමතියක් ඇතිවිය. ඔහු කිසි දිනෙක නගර ශාලාවට ගොස් නැත. එසේ යන්නට කිසිවිටෙක ඔහු තුල ආසාවක් තිබුනේද නැත!

Monday, November 21, 2011

ඔටෝ ඒ/සී...Auto A/C

“රූ කේක් හදන කොට අවන් එකක් පාවිච්චි කරන්නෑ නේද?...“
ලොකු බොස් මගෙන් ඇහුවෙ කාර් එකේ ටිකක් දුර යද්දි. ඒ කතාව මට තේරුනේ නැති නිසා මම බොස්ගෙ මූණ බැලුවා උත්තරයක් නොදීම.
“නෑ මම කිව්වෙ ඔයාට කේක් බේක් කරන්න අවන් ඕනි නැති නිසා“
අපේ වැදගත් පාරිභොගිකයෙක්ව හම්බවෙන්න දවල් 1ට විතර අපි දෙන්නා ඔෆිස් එකෙන් පිටත් වුනා. වෙනද නම් බොස් එක්ක විසිට් යනවනම් එයාගෙ කාර් එකෙයි යන්නෙ. මේ සතියෙ රෙපෙයාර් එකකට ඒක ගරාජ් එකේ නිසා බොස් ආවා මගේ දුප්පත් වාහනේට. ඉස්සෙල්ල කීව කතා දෙකම මට එච්චර ඇල්ලුවෙ නැති වුනත් රියදුරු අසුනේ හිටිය මම බොස් දිහා බැලුවෙ මට තේරුනේ නෑ වගේ බැල්මකින්.
බොස් සෑහෙන බැරූරුම් මූනක් හදාගෙන මම දිහා බලලා
“නෑ ඔයා කේක් මිශ්‍රනය හදලා කාර් එකේ පැයක් විතර දාලා වහලා තිබ්බොත් කේක් එක බේක් කරගන්න පුළුවන් නිසා මම එහෙම කිව්වෙ.“
මෙහෙමත් ලැජ්ජාවක් රියදුරු අසුන යට හිලක් තිබ්බනම් මාත් යනවා පොළව පලාගෙන. කාර් එකේ A/C එක හරියට වැඩ නොකරන්න අරන් දැන් ටික කාලයක්.දවල් වෙලාවට කාර් එකේ ජනේල වහගෙන A/C දාලා ගියොත් අර කිව්වත් වගේ බේක් වෙලා තමයි බහින්න වෙන්නෙ.
දැන් ඉතින් මෙහෙම කතා අහගෙන A/C එක හදන්නැතිව ඉන්න පුළුවන්ද..ඒ ගැන හොයද්දි හම්බ වුනු දේවල් ගැන තමා මේ පෝස්ටුව.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඉස්සෙල්ලාම අපි බලමු කොහොමද කාර් එකක A/C system එක වැඩ කරන්නෙ කියලා.

courtesy : http://youtu.be/w17DpGCcRj8

A/C එක හරියට වැඩ කරන්නැත්තම් හේතු කීපයක් තියනවා.මේ වීඩියෝ එකෙත් ටිකක් මේ ගැන විස්තර කරනවා.

1. A/C ගෑස් එක අඩුවීම/කාන්දු වීම්
මේ නිසා වාහනේ වායු සමීකරණ ධාරිතාව අඩුවෙනවා වගේම A/C පද්ධතියේ අනිත් දේවල් වලටත් බලපානවා. ගෑස් කාන්දු වීම බලාගන්න පොඩි sight Glass එකක් තියනවා. පහල පින්තූරෙ තියෙන්නෙ ඒක තමා.
http://www.evansauto.procarcare.com/images/shar/encyclopedia/88520c01.gif
ගෑස් ප්‍රමාණය මදි කියන එකෙන් ගෑස් කාන්දු වීමක් ඇඟවෙන නිසා කාන්දු වෙන තැන් හොයා ගන්න පුළුවන්.
මේ පින්තූරෙන් කියන්නේ ඒ වගේ ගෑස් කාන්දු වීම් පරීක්ෂා කරන්නේ කොහොමද කියලා.
http://www.aa1car.com/library/ac_refrigerant_leaks.gif

2. Compressor සම්පීඩකය නියමිත පරිදි ක්‍රියා නොකිරීම
Magnetic Clutch  එක නිවැරදිව ක්‍රියා නොකිරීම මෙයට හේතු විය හැක.
3. Blower fan (Condenser Fan ) එක වැඩ නොකිරීම
වාහනේ ඇතුලේ උණුසුම එළියට අදින්නෙ මේ A/C fan කියලා අඳුන්වන Fan එකෙන්. මෝටරේ ප්‍රශ්න, Fuse එක නරක් වීම, විදුලි කපාට (Contact Relays)  සවුත්තු වීම නිසා.
4. Condensor හි මඩ හා දූවිලි තට්ටු බැදී තිබීම
තාපය පිටතට ඇද ගන්නා condensor හි මඩ බැදී තිබීම නිසා එහි ධාරිතාව අඩු විය හැක.
5. එන්ජිම අධික ලෙස රත් වීම
මේ නිසා ශීතකරන වායුව හරි හැටි ශීත නොවීම නිසා වායු සමීකරණ පද්ධතිය නියමිත පරිදි ක්‍රියා නොකරයි.
6. A/C ෆිල්ටර් කුණු බැදී තිබීම
මේ නිසාත් වායු සමීකරණ පද්ධතිය හරියට වැඩ නොකරන්න ඉඩ තියනවා.


කාර් එකක A/C එක වැඩ කරන්නැත්තම් ගෙදර ඉදන් වැරැද්ද මොකද්ද කියලා හොයල බලන්නයි මේ පෝස්ටුව ලිව්වෙ. මොකද වාහන හදන තැන් වලට ගිහාම trouble shoot පැත්තක තියලා ශීතකරන වායුව මාරුකරලා තමයි වැඩ පටන් ගන්නෙ.ඒත් මේ ශීතකරන වායුව ගිනිගන්නා සුළු නිසා ගෙදරදි මකබාස් වැඩ කරන්න යන්න එපා.


ආශ්‍රිත වෙබ් අඩවි :http://www.aa1car.com/library/ac98.htm
                            http://www.wikihow.com/Fix-Your-Car's-Air-Conditioner
                            You Tube


Wednesday, November 16, 2011

කමිං...Come In...

පළවෙනි කතාව
මේ සිද්දිය සිද්ද වෙලා තියෙන්නෙ පිටරටක ඉගෙන ගන්න ගිය යාළුවෙකුට (ගෑනු ළමයෙකුට). මෙයාලා කට්ටිය සෙට් වෙලා තවත් ඒ රටේම පිරිමි යාළුවෙක් හම්බවෙන්න එයාගෙ බෝඩිමට ගිහිල්ලා. ගෙවල් කිව්වට ඒවා එක කාමරයක් බාත්රූම් එකක් තියන පොඩි අපාට්මන්ට් ටයිප් ඒකක්. ගෙදර දොර ගාවට ගිහිල්ලා බෙල් එක ගහපුවාම මේ කට්ටියට ඇහිලා තියනවා ඇතුලෙ යාළුවා හයියෙන් කෑ ගහනවා.
කවුද ? .(සිංහලෙන් නෙවේ..!!) .ඉතින් ගියපු අය අඳුන්නල දීපුවහම මෙයාලට ඇහුනලු මෙහෙම.
කමිං.
ඇතුලට එන්න කියලනෙ කිව්වෙ කියල හිතාන ලොක් කරල නැතිව තිබ්බ දොර ඇරගෙන මේ කට්ටිය ඇතුලට ගිහිල්ලා.
අනේ එතකොට යාළුවා ඉදල කියෙන්නෙ ඇඳුම් මාරුකර කර දොර අරින්න එන ගමන්.කමිං කියල තියෙන්නෙ coming (එනවා) කියන තේරුමෙන්ලු.ඇතුලට ගියපු අයට පොළව පලාගෙන යන්න හිතුනලු...


Picture courtesy :http://www.cartoonstock.com/
දෙවෙනි කතාව
මේ සිද්දිය වුනේ දර කපන්නගෙ කතාව කියල දුන්නු බොස්ටයි මට ඩ්‍රයිවින් උගන්නපු බොස්ටයි අල්ලපු රටේ සම්මන්ත්‍රණයකදි..හැමෝම දන්නවනේ අපේ අසල්වාසී රටේ අයගේ ඉංග්‍රීසි උච්චාරණය ටිකක් අමුතුයි කියලා. සම්මන්ත්‍රණය කරගෙන යද්ද් බොස්ල දෙන්නා මෙහෙම කථා වෙනවලු..
“මම හිතාන ආවෙ මේක තාක්ෂණික සම්මන්ත්‍රණයකට කියලනේ බලපුවාම තේරෙන්නැති බයොලොජිත් තියනවා වගේ“
“මටත් මීටර් වුනා.මෙයාලා මොනවද මේ  අරලිය ගැන නිතරම කියන්නේ.“
“මටත් හිතාගන්න බෑ අරලියත් එක්ක මේ මාතෘකාවට සම්බන්දේ කියලා.“
“පොඩ්ඩක් ඉන්නකෝ ආයෙත් අහලා බලමු.“
මෙහෙම දෙන්නා ටික වෙලවෙක් හොඳට අහගෙන ඉන්නකොට තමයි මීටර් වෙලා තියෙන්නෙ අරලිය අරලිය කියලා ඇහිලා තියන්නෙ Earlier කියන එකට කියලා.


ප/ලි/


එකම වචනෙ වුනත් වෙනස් විදිහට කියලා තේරුම වෙනස් කරන්න පුළුවන්. වෙනස් ජාතීන් තමන්ට හුරු විදිහට වචන උච්චාරණය කරන නිසා සමහර වෙලාවට අපි මඤ්ඤං වෙනවා. විශේෂයෙන් මැලේසියානු ජාතිකයො ඉංග්‍රිසි කතාකරන කොට හැමවෙලේම ලා කියල අගට එකතු කරනවා
ඕකේ ලා
යූ කැන් ලා
ටිකක් වෙලා යනකෙට තමයි සෙට් ‍වෙන්නෙ මේලා අහන්නෙලා ප්‍රශ්නයක්ලා කියලා..!!! මැලේසියාවෙ කට්ටියක් එක්ක වැඩ කරපු දවස්වල  අපි ඔෆිස් එකෙත් සිංහල කතා කලේ අගට ලා දාලා:)
භාෂාව තේරුම් ගන්න විදිහ අනුව ගොඩක් දේවල්වල තේරුම වෙනස් වෙනවා. පහුගිය මාසෙම වගේ රූ කරපු පැවරුම නාගන්න මූලිකම හේතුවක් වුනේ ඉංග්‍රීසි තේරුම් නොගැනීම.එයාල කියන දේ මට නොතේරීමත්  මම කියන දේ ඔවුන්ට නොතේරීමත්. මේ නිසා ව්‍යාපෘතිය කරපු නිරිතදිග ආසියාවෙ රටක මිනිස්සුන්ගෙ අම්මල තාත්තල පවා අපෙන් හොඳටම බැනුම් ඇහුවා මදි නොකියන්න. ඒත් වැඩැක් තියේයැ බනින එකත් තේරෙන්නෑ නෙ..!! දවස් 2-3කින් ඉවර කරන්න තිබුන වැඩේ සති 3-4ක් ගිහිල්ලත් තාම ඉවර නැත්තෙ මේ භාෂා ප්‍රශනේ නිසා‍.

Wednesday, November 9, 2011

දර කපන්නාගේ කථාව

ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු දර කපන්නෙක්. ඒ කියන්නේ එයා කැලේට ගිහිල්ලා ගස් කපලා දර හොයාගෙන එනවා. එය සතුටින් සමාදානෙයෙන් ජීවත් වෙද්දි දවසක් එයාට කෝල් එකක් ආවා සම්මුඛ පරීක්ෂනයකට. ලොකු කොම්පැණියක ප්‍රධාන දර කපන්නා වෙන්න තමයි ඉන්ටවීව් එක. දරකපන්නා ඉතින් ගිහිල්ලා බැලුවලු රස්සාව හොඳද කියලා. දීමනාවත් හොඳ නිසා එයා රස්සාවට යන්න තීරණය කලා.
http://t3.gstatic.com
පළවෙනි දවසෙම ගිහින් වැඩ බාරගත්තාම දර කපන්නට ටාගට් එක හම්බ වුනා. පුළුවන් තරම් ගස් කපන්න ඕනි අඩුම ගානෙ දවසට ගස් 50ක් වත් කපන්න ඕනි. ඉතින් ඇග්‍රිමන්ට් එහෙම අත්සන් කරලා දර කපන්නා වැඩ පටන් ගත්තා එයාගෙ පොරවෙන්. එයා දවසට කපපු ගස් ප්‍රමාණයන් පහත පින්තූරෙන් පෙන්නනවා.
දැන් මැනේජ්මන්ට් එකට ලොකු අවුලක්. මෙච්චර මහන්සි වෙන දරකපන්නාගේ ප්‍රතිඵල නැත්තෙ ඇයි කියලා. දරකපන්නත් දාඩිය පෙරාගෙන ගස් කැපුවත් හැමදාම කපන්න පුළුවන වෙන ගස් ගාන එන්න එන්න අඩුවෙනවා. මානව සම්පත් විශේෂ‍ඥයොයි අර විශේෂ‍ඥයොයි මේ විශේෂ‍ඥයොයි හැමෝම එකතුවෙලා බර සාකච්චාවල් මේ ගැන. අන්තිමට බැරිම තැන හැමෝම දරකපන්නා ගෙනල්ලා ප්‍රශ්න කලා.


“දරකපන්නානෙනි, ඔබගේ කාර්ය සාධනය දිනෙන් දින පහළ යමින් පවතී. එයට හේතුව කුමක්ද? අපේ කොම්පැනියෙන් සිදුවූ අඩුපාඩුවක්ද?“


අනේ නැහැ ආයිබොවන්ඩ..මේ වැඩ අස්සේ මට පොරව මුවහත් කරගන්න බැරිවුනානෙව...

ප.ලි.
මේ කතාව කිව්වෙ අපේ ලොකු බොස්. අපේ කස්ටමර්ලට සපෝට් කරන ඉංජිනේරුතුමා වැඩ බාරගන්න දවසේ අපි තුන් දෙනා තියපු මීටිමේදි. මේ කතාව කියලා ඉවර වෙලා බොස් කියනවා මම කියකම් ඉන්නෙ නැතිව පොරව මුවහත් කරගන්න තැත්නම් කොච්චර මහන්සි වුනත් ප්‍රතිඵලයක් නැතිවෙයි කියලා. ගොඩක් වෙලාවට අපි දෙන්නා එකට වැඩ කරන්න සෙට් වෙන නිසා අපි මේ කථාව නිතරම මතක් කරනවා.


වෙලාවට පොරව මුවහත් කරගත්තෙ නැති නිසා අපි දෙන්නම පහුගිය මාසෙම කරපු ව්‍යාපෘතිය හොඳටම නාගත්තා. දැන් නම් සිස්ටම් එක 85%ක්ම වැඩ නිසා අවුලක් නෑ. මේ කථාව බ්ලොග් යාළුවොත් එක්ක බෙදාගන්න හිතුවෙ මේ නිසයි.

Monday, November 7, 2011

මතකද අප නෙත් කථා කලා....


017ShalithaAbeywickrama-Pipunu Malaka Hada by nishantha_t

"එක්ස්කියුස් මී...මෙතන කවුරුත්ඉන්නවද?"

වාඩි වීමට අසුනක් සොයමින් ආ විහඟ හිස් ව තිබූ අසුන දැක විමසූයේ ඉදිරිපස අසුනේ වූ රුවැත්තියගෙන්. පොතකට මුහුණ ඔබා එලොව කිමිදෙමින් සිටි ඇය මදකට ගැස්සී හිස එසවූවා. කලබලයෙන් වුවත් හොදින් වට පිට බැලූ ඇය විහඟ දෙස බැලුවේ ප්‍රශනාර්ථයක් මුහුණේ රඳවා ගනිමින්.


"ඇයි..ඔයාට කවුරු හරි ඉන්නවා පේනවද?.."බැරෑරුම් ලෙස ඇය විමසුවා.


"නෑ.මම ඇහුවේ ඔයා අඳුනන කාට හරි සීට් එක තියාගෙන ඉන්නවද කියලා?" විහඟ පැහැදිලි කලේ අපහසුවෙන්.


"ආ..මම හිතුවෙ මෙතන හොල්මන් වගේ ඔයාට නොපෙනෙන මට පෙනෙන කවුරුහරි ඉන්නවද කියලා ඇහුවා කියලා.නෑ මෙතන කවුරුත් නෑ.මම අඳුනන කාටහරි දැනට ඉඩ තියාගෙනත් නෑ."


රුවැත්තිය සිනාමුසුව පිළිණ දුන්නා.


"එහෙනම්,මම මෙතනින් වාඩිවෙන්නම්."

විහඟ යලි පැවසුවත් ඇය ඒ වන විටත් පොත් ලොවට පිවිස සිටියාය.
අසුනේ හරිබරි ගැසුනු විහඟ අත් ඔරලෝසුව දෙස බැලුවේ දුම්රිය පිටත්වීමට තවත් පැය කාලක් ඇතිබව ප්‍රත්‍යක්ෂ කරමින්.රුවැත්තිය කියවන පොත දෙස විමසිලිමත් වුනු විහඟ ඇය හිස ඔසවනු දැක සිනාසුනේය. 


‘සොරි ඔයාගේ කියවීමට බාධා කලානම්‘..විහඟ දෙබසකට මුල පිරුවේය.
එයට පෙරළා සිනහවෙන් පිළිවදන් දුන් යුවතිය දුම්රිය කවුලුවෙන් පිටතට දෑස යොමු කලාය. සැබවින්ම ඇයට ඇත්තේ කථාකරන දෑසක් යැයි මොහොතකට විහඟට සිතිණි. පිළින ලෙස ලැබුනු සිනහවෙන් සෑහිමට පත්වූ විහඟට පළමු වදනින්ම දෙබස නිමාවූ බව වැටහුනේ ඇය යළිත් පොතට දෑස යොමුකල නිසාය.


හැමදාමත් සිදුවන ලෙස අවසන් මොහොතේ දුම්රිය මගීන්ගෙන් පිරීයන්නට වූයෙන් විහඟගේත් රුවැත්තියගේත් ආසන වලට තවත කිහිපදෙනෙක් පැමිණ අසුන්ගත්තා. දුම්රිය හූ හඬ වේදිකාව පුරා පැතිර යද්දී දුම්රිය ඇන්ජිම දුම් දමමින් ඉදිරියට ඇදෙන්නට විය.


තමතමන්ගේ නැවතුම එනතෙක් දුම්රියේ සිටි සමහරු තම තමන්ගේ යහළුමිතුරන් සමඟ දොඩමළු වද්දී  අසුනට හේත්තු වූ විහඟ දෑස පියාගතතේ කරන්නට අන්කිසිවක් නොවූයෙන්. තමන්ද ආසාවෙන් කියැවූ කිහිපවරක් කියැවූවද රසය අඩුනොවන සෝමා ජයකොඩිගේ මදාරා ප්‍රේමනීය නවකතාව ඇය සුරතේ ඇතිබව විහඟ දුටුවේය. කුඩාකාලයේ සිට යහළුවන්ව සිට පෙම්වතුන් වන්නට අපමණ බාධා එල්ලවු මදාරා රන්දුනු පෙම්පුවත විහඟගේ සිහියට නැගිනි.ගෙදර ගොස් පොත් රාක්කය නැවත අවුස්සා පොත යලිත් කියැවිය යුතු යැයි විහඟ සනිටුහන් කර ගත්තේය. බැසිය යුතු නැවතුම එනතුරු තවත් පැය කිහිපයක් මෙලෙස රුවැත්තියකගේ දසුනෙන් නෙත් පුරවා ගතහැකි බව දැනුනු විහඟගේ මුවට සිනහවක් නැගුනි.


බෝරිච්චි අත් දැමූ රෝස පැහැ දිගු ගවුම රුවැත්තියට ගෙනාවේ අමුතුම සුන්දරත්වයක්. සිහින් මාල පොටක් පමණත් පැළදි ඇය කොණ්ඩය එක් කරලකට ගොතාතිබුනා. කොණ්ඩා කරළට හසු නොවුනු නළල දෙපස කෙස්කැරළි විවර වූ කවුළුවෙන් එන සුළං සමඟ දඟකරනු විහඟ මොහොතක් බලා සිටියේය. කියවන දෑසට ඉසිඹුවක් දෙන්නට වරින් වර හිස ඔසවන ඇයගේ නෙත් විහඟ හා ගැටුනේ මේ මොහොතේයි.
http://cache1.asset-cache.net/


ගස් කොළන් මගදෙපස ගෙවල් වේගයෙන් පසුපසට යද්දී ඔවුන්ගේ දෑස් ඔවුනොවුන් මතම රැදී තිබුනේ කාලයේ සාපේක්ෂ බව පසක් කරවමිනුයි. වචනවලට නොපෙරලවුනු දෑස කී කතා මනසින් විදිමින් එකිනෙකා හා සිනාසුනේ අවට සිටිනා දහසක් නෙත් වලට හොරෙන්.


තත්පරෙන් තත්පරය ගෙවී පැය කිහිපයක් ගතවී නැවතුමට ළංවී ඇතත් විහඟ රුවැත්තියත් සමඟ කෙරෙන නිහඬ කතාබහ තවමත් අවසන් නැහැ. විටෙක දෙනෙතින් සිනාවන ඇය විටෙක නිහඬවම කතාබහ රසවිදිනවා. මේ සියල්ල අතර සිත් දෙක තවත් ළංවූයේ වදන් නොමැතිවමයි.


පැය කිහිපයක් පැද්දි පැද්දී ආ දුම්රිය ටැබ්ලටය ගාඩ්වරයාට දී විහඟගේ නැවතුම සනිටුහන් කලා. අවට දහසක් දෙනාට හොරෙන් සිදුවුනු නිහඬ ආදර දෙබසට වේදනාත්මක සමුගැන්ම සනිටුහන් කල විහඟ බෑගයත් රැගෙන දුම්රියෙන් බැස්සේය. වෙනදාට පැයගනන් ප්‍රමාදවන  දුම්රිය අද කලින් ආවේ ඇයි දැයි අත් ඔරලෝසුව දෙස නොරිස්සුමෙන් බලමින් විහඟ කල්පනා කලේය.


ඈතට නොපෙනී යන දුම්රියේ කවුළුවකින් රෝස පැහැ බෝරිච්චි අතක් මද සුළගේ දඟ කරනු විහඟ බලා සිටියේය.




ප/ලි
ජීවිතයේ කවදාම හරි දවසක අපට මුනගැසුනු ආගන්තුකයෙක්  දෑසින් කථාකර සිත තුල නොමැකෙන සටහන් තබමින් නික්මයන එක මට විතරක්ම වුනු අත්දැකීමක් නොවන බව මට දැනුනේ ශාලිත අබේවික්‍රමයන් ගයන මේ ගීතයේ පසුබිම ගැන ලියැවුනු ලිපියක් කියවද්දි.
මේ ගීය ඇසෙද්දී ආදරය ගැන හීනෙකින්වත් නොසිතා තිබූ අවදියක බසයකදී මිනිත්තු කිහිපයකට ඇස ගැටුනු ඒ දෑස තවමත් මට මැවී පෙනෙන්නේ හේතුවක් නැතිවමයි.
ජූඩ් පීරිස් විසින් සංගීතවත් කල විපුල් ධර්මප්‍රිය ගේ ගේය පද  ශාලිත අබේවික්‍රමයන් ගේ මියුරු සරට එකවූ මේ ගීය බොහො අය විරහ ගීතයක් යැයි වරදවා වටහා ගෙන තිබෙනවා.


ප/ප/ලි
මෙතැනින් සින්දුව බාගන්න.
මේ සින්දුව ගැන විශේෂයෙන් ලියන්න හිතාගෙන හිටියත් ඒක ඉක්මන් වුනේ හතරවටේ බ්ලොගයේ මේ පෝස්ටුව නිසා.
පින්තූරු අනුග්‍රහය : Google Image Search